Total Pageviews

කොටළුවා

කොතරම් වයසට ගියද කොටළුවා කිසි කලෙකත් අශ්වයකු නොවන බවට කියුමක්‌ තිබේ. එය ඇතැම් මනුෂ්‍යයන්ට සාපේක්‍ෂ වුවද ඇතැම් මනුෂ්‍යයන්ට සාපේක්‍ෂ නොවේ. කොටළුවන් ලෙස ජීවිත පටන් ගත් ඇතැම් මිනිසුන් සියලු ජීව විද්‍යාත්මක නිර්නායකයන් නිෂේධනය කරමින් අශ්වයන් වූ අවස්‌ථා ඇත. (කොටළුවා යනු බූරු පියකුටත් අශ්ව මවකටත් දාව ඉපදුණු සතාය. ඌට ප්‍රජනන ශක්‌තියක්‌ නැත. එය මෙතැනට අදාළ නොවේ.) නිදහසින් පසු මේ රටේ පහළ වූ සමහර දේශපාලනඥයන් ජීවිත පටන් ගත්තේ කොටළුවන් ලෙසිනි. එහෙත් ඔවුහු කල් යත්ම සමාජයෙන් ලැබුණු අත්දැකීම් සමඟ ගැටෙමින් ධාවන ශූර අශ්වයන් බවට පත් වූ අතර අජානේය අශ්වයන් ලෙස සිය ජීවිත නිමාවට පත් කළහ.
මෙයට වසර 50 කට පෙර "Life begins at 40" (ජීවිතය පටන් ගන්නේ අවුරුදු 40 දී ය.) යනුවෙන් ඉංග්‍රීසි කියමනක්‌ බටහිර ලෝකයේ තිබිණ. එයට හේතුව එතෙක්‌ අවුරුදු පනහෙන් පනස්‌ පහෙන් හෝ හැටෙන් මියයමින් සිටි බටහිර වැසියා නවීන ඖෂධ ව්‍යායාම සහ නවීන ආහාර වැඩියෙන් අනුභව කරන්නට පටන් ගැනීම නිසා අවුරුදු හැත්තෑපහ දක්‌වා ජීවත් වීමය. මේ තත්ත්වය තවදුරටත් වර්ධනය වීමෙන් පසු බටහිර වැසියාගේ ආයු කාලය සාමාන්‍යයක්‌ වශයෙන් ගත් කල අවුරුදු 90 තෙක්‌ වර්ධනය විය. එබැවින් "Life begins at 60" (ජීවිතය පටන් ගන්නේ අවුරුදු 60 නි.) යනුවෙන් පෙර කී කියමන සංශෝධනය කෙරිණ. තව වසර 10 කින් ඇමරිකාවේ සිටින වසර 100 ඉක්‌මවූ වැසියන්ගේ ගණන 1000 ඉක්‌මවනු ඇත. ජපානයේ නම් දැනටමත් වසර 100 ඉක්‌මවූවන් 1000 ඉක්‌මවා සිටිනවා ඇත.
වයස විසින් මනස ඔද්දල් කරනු ලැබේ. එසේම මනස සංවර්ධනය ද කරනු ලැබේ. හොඳම උදාහරණය චීනයේ රාජ්‍ය නායකයා පත්කිරීමය. කොමියුනිස්‌ට්‌ චීනය පාලනය කරන නායකයා අවුරුදු 70 ට වැඩි කෙනකු විය යුතු බව මාවෝ සේතුංගේ නිගමනය විය. දේශපාලනයෙන් පටන්ගෙන ගොවිපළවල වැඩ කර, හමුදා පුහුණුව ද ලබා පක්‍ෂයේ ග්‍රාමීය අංශයට බැඳී, ප්‍රාදේශීය අංශවල නිලතල දරා, මධ්‍යම කමිටුවට පත්වී, උත්තරීතර මණ්‌ඩලයේ ද සෑහෙන කලක්‌ කටයුතු කිරීමෙන් පසු චීන දේශපාලනඥයා නායකත්වයකට සුදුස්‌සකු බවට රෙකමදාරු විය. (මාවෝ සේතුං වයස 86 වන තුරුම රට පාලනය කළේය. ඔහු මියගිය පසුත් මාසයක්‌ම රට පාලනය කළේය. ඔහු මියගිය විට ඔහු තවමත් රෝගීව වෙසෙන බව ප්‍රකාශ කළ චීන දේශපාලන උත්තරීතර මණ්‌ඩලය මාවෝ සේතුං වෙනුවට වෙනත් නායකයකු පත් කරගෙන ඔහුගේ මරණය ප්‍රකාශයට පත් කළේය.) චීන නායක ඩෙං ක්‌සියාවෝ පිං ද අවුරුදු 93 වන තෙක්‌ රට පාලනය කළේය.
වයස ප්‍රශ්නයක්‌ වන වෘත්තීන් තිබේ. කම්කරු වෘත්තිය ඉන් ප්‍රමුඛ ය. අවුරුදු 50 දී කර ගැසූ මුට්‌ටය එසේම කර ගැසීමට අවුරුදු 75 දී නාටාමිට බැරිය. එබැවින් ඔහු විශ්‍රාම ගත යුතුය. එහෙත් බුද්ධිය හැසිරවීම වෘත්තිය වන අවස්‌ථාවලදී වයස බලපාන්නේ නැත. එහිදී වැදගත් වන්නේ මොළයට පණ තිබීම පමණි. නිව්ටන්ගෙන් සහ අයින්ස්‌ටයින්ගෙන් පසු පහළ වූ විශිෂ්ටතම විද්‍යාඥයා ලෙස පිළිගැනෙන මහාචාර්ය ස්‌ටීවන් හෝකින්ස්‌ අද හැත්තෑවන වියට ආසන්නව සිටින අතර ඔහුගේ සිරුරේ ක්‍රියාකාරීව පවතින්නේ මොළය සහ ඇහි පිල්ලම් පමණි. මොළයේ මතුවන අදහස්‌ ඇහි පිල්ලම්වල චලනය මගින් යන්ත්‍රයකට දන්වා එය වචන බවට පරිවර්තනය කර හෝකින්ස්‌ පොත් පවා ලියයි. පිටසක්‌වල ජීවීන් සමඟ සම්බන්ධකම් නොපවත්වන ලෙසත් යම් හෙයකින් එම ජීවීන් භයානක වුවහොත් අපට විසුමක්‌ නොවනු ඇති බවත් ඔහු සිය අලුත්ම පොතේ සඳහන් කර ඇත. බුද්ධිය යනු වයසත් සමඟම පුළුල් වන ක්‍ෂේත්‍රයකි. බුද්ධිමතා සිය අවසාන කාලයේදී අග්‍ර ඵල නිර්මාණය කරයි. මහා ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සිය මහලු කාලයේදී ලියූ බවතරණය අපේ සාහිත්‍ය වංස කතාවේ සලකුණකි. තරුණ සෙනරත් පරණවිතානට වඩා, මහලු සෙනරත් පරණවිතාන කියවූ සෙල්ලිපි ගණන වැඩි ය. තරුණ සරච්චන්ද්‍රට වඩා, පරිපූර්ණ විද්වත් ගුණයත් මහලු සරච්චන්ද්‍රට තිබිණ. පළමු නළ දරුවා ඉපිදවූ දොස්‌තර දැන් ඉතා මහලුයි. ඔහුට පසුගියදා නොබෙල් ත්‍යාගය හිමි විය.

අමා  පැරිස්  හෙවත්  මං පොර
ආ....ද   වඞිගපටුන